Tuesday 19 January 2010

මම බලන් ඉන්නවා . . .


මේ මොහොතේ මුලු ලෝකයම නිදි,
මම ඉන්නෙ නුඹ ගැන සිත සිතා . . .
ඈත දිලෙන තරුවක
කොතනක හෝ මට නුඹව පෙනෙනවා . . .
මමත් එතන ඉන්නව කියල හිතෙනවා . . .
මම අවදිව ඉන්න මේ රෑ,
නුඹ පවා දැන් නිදි ඇති,
මගෙ සිහින නුඹ නොදන්නවා ඇති,
කවදා හරි නුඹ මගේ දෑස දිහා බැලුවොත්
මගෙ සිහින කොයි තරම් සාධාරණ දැයි නුඹට දැනෙයි . . . . .
මට ඕනෙ නුඹට සමීප වීමටයි
සැබෑ කළ යුතු සිහිනය එයයි
තව දුරටත් එය සිහිනයක් නොවේ නම්
මගේ අහිංසක සිත කොයි තරම් සතුටු වේද . . .
මම නුඹ වෙනුවෙන් මග බලා සිටිය දවස් වලට වුනත්
ඔයාට තේරෙනවා ඇති මම නුඹට කොයි තරම් ආදරේද කියා . . .
ඇත්තටම මගේ හිත නුඹට ආදරේ කරනවා
මේක මගේ මුල්ම ආදරය නෙමෙයි
ඒත් . . . . . .
මම මේ ආදරයෙන් යලි උපන්නා
මම නුඹට ආදරේ කරන බව,
නුඹ දන්නව වුනත්,
නැති වුනත්,
මම නුඹ ගැන සිහින දකිනවා
මම මගෙ පළමු ආදරයට මොනවා උනත්,
අපේ ආදරයට එහෙම නොවෙයි කියලා
මම විශ්වාස කරනවා . . .
මම නුඹ ගැන දකින සිහිනය සැබෑ කර ගන්න ඉඩ දෙන්න . . . .

හීන ඉකිබින්දා (පළමුවන කොටස)


දවසට පැය පනහක් වත් තිබුණොත් හොදයි කියලා මට හිතුනා . . . ඉස්කෝලෙන් අවුට් වෙලා කැම්පස් එකේ අවුරුදු දෙකක් ගත කෙරුව කාලේ හීනයක් වගේ . . . ඇත්තටම හීනයක්.

මං කැම්පස් එන්න හීන දැකපු කොල්ලෙක්, ඒ හීන එකින් එක හැබෑ වෙනකොට, මගෙ වගේම මගෙ දුප්පත් අම්මගෙයි තාත්තගෙයි ඇස් වලත් අහිංසක සතුටක් මම දක්කා. ඒ සතුටු කදුලු මට ජීවිතේ ඉස්සරහට යන්න හයියක් වුනා.

"දසුන් . . . . . දොර ඇරපන් . . . .උඹ මේ මහ දවාලේ දොර වලුත් වහගෙන අහවල් මගුලක් කරනවද .?අන්න උඹට සදුනි එන්න කිව්වා " මලිත් කෑ ගහගෙනම ඇතුලට ආවා.
මලිත් කියන්නේ කැම්පස් එකට ආව දවසෙ ඉදන් නොකා නොබී හරි මං ලග හිටිය මගෙ බොක්කක්. මං ඇඩුවත්, හිනාවුනත් . . . හැමදාම මලිත් මං ලග හිටියා.

"සදුනි මට හදිස්සියේ එන්න කිව්වෙ ඇයි දන්නෑ මචන් . . ." "ඒක ඉතින් මට කියන්න පුලුවන් නම් ඒකි උඹට එන්න කියයිද බං . . . . එකී එහෙනම් මට කියනවනෙ . . " මලිත් ආපහු කෑ ගහන්න පටන් ගත්තා.

මං නැහුත ගානට බෝඩිමෙන් එලියට ආවේ සදුනි හම්බවෙන්න යන්න . . . කැම්පස් ජීවිතේ වගේම සදුනිත් මට හීනයක්. අපි දෙන්න අහසට පොළව වගේ . . . ගමේ හැදිලා, ගමේ ඉස්කෝලෙක ඉගෙන ගත්ත, මං වගේ දුප්පත් කොල්ලෙකුට සදුනිව දෙන්න එයගේ අම්මලා කැමති වෙන්නැති බව මං නොදැන හිටිය නෙවෙයි.මං යද්දි සදුනි ඇවිත් හිටියා.

"ඔයා ඇවිත් හුගක් වෙලාද සදුනි. ?"
"ටිකක් වෙලා . . . " එයා කතා කරපු විදියට මාව ඩිම් වෙලා ගියා. සදුනි කියන්නේ වචනෙන් දෙකෙන් උත්තර දෙන කෙල්ලෙක් නෙවෙයි . . . .

"ඔයා මොකක් හරි ප්‍රශ්නයක් හිතේ තියා ගෙනද කතා කරන්නේ. මොකද වුනේ . ?"

"තාත්තාට අපි දෙන්නා ගැන ආරංචි වෙලා දසුන් . . . මගෙන් ඇහුවා ඇත්තද කියලා. මං ඔව් කිව්වා. ඒගොල්ලො කොහොමත් මාව කැම්පස් එව්වේ ඩොක්ටර් කෙනෙක් වෙන්න මට තිබුණු ආසවට, එහෙම නැතුව මාව ජොබ් එකකට යවන්න හිතාගෙන නෙවෙයි . . . ගෙදර නැවතුනොත් මට ඔයාව නැති වෙයි දසුන් . . . අපි බදිමු . . . "

"බදිමු . . ." මාව හිරි වැටුණා. පපුව උඩ කිලෝ දහයක් විතර තියලා වගේ මට දැනුණා. සදුනි කියන්නේ ආවට ගියාට වචන පාවිච්චි කරන කෙල්ලෙක් නෙවෙයි . . .
"හදිස්සියේ . . . . ?" මං එහෙම කිව්වා නෙමේ මට එහෙම කියවුණා.
" ඔයාට මාව ඕනෙනම් මේ දේට කැමති වෙන්නම වෙනවා . . . දසුන්. අපිට වෙන කරන්න දෙයක් නෑ. මං ඔයාට ලං වුනේ ඔයාව අත අරින්න හිතාගෙන නෙවෙයි. මං හිතුවා මොන දේ වුනත් ඔයවාත් මං ලග ඉදියි කියලා . . ." සදුනි කියාගෙන කියාගෙන ගියා....

මට ඒ හිතට දුකක් දෙන්න කොහොමටවත්ම පුලුවන් කමක් තිබුනෙ නෑ. හිතේ දෙගිඩියවෙන් වුනත් මං එයගෙ තීරණයට දෙපාරක් නොහිතම කැමති වුනා. අම්මයි, තාත්තයි මට උගන්නන්න දහ දුක් වින්ද හැටි චිත්‍රපටියක් වගේ මැවිලා පෙනුනත් . . . මට ආපහු හැරෙන්න පුලුවන් කමක් තිබුනේ නෑ. සදුනිට තිබුණ ඕනෙකම නිසාම අපේ තනි තීරණයට නීතියෙන් අපි දෙන්නා අපේ වුනත් . . . ප්‍රශ්නෙ සියයට අසූවක් විතර තමත් ඉතුරුයි කියල මට හිතුනා.

"ටියුෂන් කරලා හොයගත්ත සල්ලි ටිකක් මං ලග තියනවා . . . මං ඉක්මණට ගෙයක් හොයා ගන්නම් සදුනි, එතකල් ඔය බොඩිමේ ඉන්න . . . පුලුවන්නම් අම්මට ලියුමක් දාන්න, හැමදෙම කියලා . ."

ඉන්න තැනක් හොයගත්තත් සදුනිට ගෙදර හිබුණු සැප සම්පත් දෙන්න මට කොහෙත්ම පුලුවන් කමක් තිබුනෙ නෑ.
- - - මතු සම්බන්දයි - - -

Thursday 14 January 2010

මම යලිත් . . .

මල්වරව සඳ හැංගෙනා රැයක
මම ඔබව දකිමි ගගනක කොනක
මේ තරම් තාම හිත රිදෙනකොට
අපි අපෙන් දුරස් වුන අරුම කිම . . . ?
ඇස් පියන් වසා අතහැර සුසුම
ගින්දරින් නිවෙන්නට තනමි මම
මගේ සිත බිද දැමූ ඔය හදට
මම යලිත් සමා දුන් අරුම කිම . . . ?
ඔබ ගියා ආත්මය මරාගෙන
එහි යලිත් පෙම් කුසුම් නොපිපේය
එහෙත් මට එක වරක් ඔය ලයට
හිස තියාගන්න හිතෙනව තාම . . .

දැනේ මට කළ වරද . . .

සංසාර සාගරේ දෝරෙ ගැලු පෙම් හැගුම්
තුන් සිතට හඩවලා කොහේදෝ දුර ගිහින්
යනෙන මග අමතකව ලෝකයෙන් සැගවෙමින්
දිව ආමි තුරුල්ලට අම්මෙ මට සමාදෙන් . . . . .

රුවන් මලිග මගේ සිත් කොනේ ඉදි කළා
නිකැලැල්ව තිබු මගේ තුන් හිතම පොඩි කළා . .
මහැර වෙනතක් බලා ඔහු ගොඩක් පවු කළා
නුඹව රැවටූ පවට දෙවියො දඩුවම් කළා . . . .

ජීවිතය මා ලගින් දුර ඈත ඇදෙද්දී
සියක් වර මිය ඇදෙමි ඔහු මසිත පෙලද්දි
නුඹෙ සුසුම් රැල් ඇවිත් දුක් ගීත ගයද්දී
දැනේ මට කළ වරද නුඹ මහිස සිබිද්දි . . . . . .

Sunday 10 January 2010

අපි හිත හදා ගමු . . .


තුරුණු හිත හැමදාම
ආලයට ලොබ කරයි
ගෙවුනු ඒ අතීතය
නුඹට මතකද සැකයි
ලැබුණු හැම ඇසිල්ලෙම
පෙම් කලේ නුබටමයි
මගෙන් ලැබු ආලෝකේ
දැන් නුඹට ප්‍රිය නොවෙයි . . . .

මැසි කැලද නොම දනී
බදුරා මල රගේ
මමද නොම දැන ගත්තේ
වෙනස් වන සිත නුඹේ
බදුරා මලද නුඹ
තවත් මට බිය සිතේ
මැරි මැරී නැවත මා
අතීතය සිහි කරයි . . . . . . . . . . .

Thursday 7 January 2010

ඇදුරුන් නුබයි . . .


කෝල හිතට සෙනෙහස ගැන අකුරු කළ
ඇදුරැත් නුබයි මගෙ පෙම් සිත පහන් කළ
වියෝ දුකට නාඩා ඉන්නේ කොහොම
නොකියම
ගියේ තුටු පඩුරක් මදි වුනිද ? ......

සහස් ගවු උසට පැතුමන් පතාගෙන
ශිල්ප වැඩුවෙ මං නුබ ලග අවනතව
නොතේරුමට වුන වරදට විරසකව
පාඩම නිමා විය මුල මිස අග නැතිව .........

කටු සටහනින් පිවිතුරු සිත මැලවෙද්දී
කෙටි සටහනක් වී නුබ ගිය මුත් වෙන්වී
ගුරු හරුකම් නැතිව දිවි සිතියම පැටලී
සයුරක් නොදැක ගඟ හෙමිහිට ගලා බසී .......

මගේ සද නුබ . . .

සදු වලාවක ඉහ තියාගෙන
හෙටත් පායන
මගේ සද නුබ......................

Wednesday 6 January 2010

කවිය . . . .


කුලුදුලේම මම ලියාපු
එක කවියක් කියෙව්වහම
මට මතකයි අම්මා මට
දෙහි කැපුවා හැට පැයක්ම

කවි කම් නම් කමක් නැහැලු
ආදරයක් ගැන එපාලු
සෙනෙහස හැර වෙනත් දෙයක්
ලියන්න මට හිතෙන් නැහැලු

ලියවෙන කළ නැවුම් දෙපද
තව නොලියන්නේ කෙලෙසද
ලොව වෙන දේ දෙස බලාන
ලිව නොහැකිද ප්‍රේමය ගැන

Tuesday 5 January 2010

සිත පුරා නුඹ ඉද්දි . . .




ගොම්මන් ඉකි ගසන
මල හිරුගේ සෙවනැල්ල
කඩුල්ලෙන් පැන ඇවිත්
පිල් කඩට එබෙනෙ විට
හෙම්බත්ව සොවින් සිටි
සිතක් පන අදින විට
අදුර බිද නුබ ඇවිත්
මගේ හිත් දොරකඩට. ..

විදින්නට ජීවිතය
සෙවූ මුත් නොලැබෙද්දි
විදෙව්වෙමි දිවි පුරා
සසර පව් පල දෙද්දි
හිරුත් නුබ, සදුත් නුබ,
තරුත් මගෙ නුබ වෙද්දි
අදුරකට කොහෙද ඉඩ
සිත පුරා නුබ ඉද්දි. . ..