Sunday 28 February 2010

හැදින්නෙමි . . .


විඩාපත් සිත නිවා
සිනහ මල් නෙලන්නෙමි
නිගා දෙන ලෝකයෙන්
දුරස් වී හිදින්නෙමි
නුඹේ නෙතු කැල්මකින්
ලොව සොදුරු දකින්නෙමි
සෙනෙහසේ මුදු සුවද
නුඹෙන් මම හැදින්නෙමි . . .

Thursday 25 February 2010

ඇයි ගියේ වෙන අහසක් සොයා . . .




මගේ හිත් අහසට එදා
අහම්බෙන් ඔබ පායලා
සිතම පිරිමැද ආදරේ විද
කීවෙ මා ඔබගේ කියා
පතාගෙන හිටියත් බලා
විශ්වයම ඔබමයි කියා
අවදි කර පෙම මගේ සද ඇයි
ගියේ වෙන අහසක් සොයා . . .

Sunday 21 February 2010

තනි වුනේ නුඹ නොවේ . . .


කෙම් බිමක් සොයා ගියෙ
රුදුරු වු කතරකය
මිරිගුවක මුලා විය
මා දෙනෙත් නොසිතු ලෙස
අනන්තය සොයා ගිය
පැතුම් මල් මිලින විය
තනි වුනේ නුඹ නොවේ
පෙම් කෙරූ මා සිතය

Thursday 18 February 2010

හීන ඉකිබින්දා ( තුන්වන කොටස )

දෙවන කොටසින් . . . .

මලිත් හදිස්සියක් කියලා කියද්දි මට හිතා ගන්න බැරි වුනා, මේ මනුස්සයා මොනවා කියන්න යනවද කියලා.

"ඇයි මලිත් . . . අපේ ගෙදරින්වත් කවුරුහරි බෝඩිමට ආවද? "

"නෑ බං එහෙම අවුලක් නෙමෙයි. මං උඹට කිව්වෙ අපේ අයියා කෙනෙක් මෙහෙ ප්‍රයිවට් කම්පැනියක වැඩ කරනවා කියලා. මං ඒ අයියට උඹ ගැන කියලා තිබුනෙ . . . උඹ පහුගිය දවස් ටිකේම ජොබ් එකක් බල බලානෙ හිටියෙ. . . අයිය කිව්වා උඹට ලබන සදුදා නමය විතර එහෙට එන්න කියලා. එයා පුලුවන් උදව්වක් කරයි මචන්. . . මෙන්න මෙතන තියනවා ඇඩ්ඩ්‍රස් එක."

"මට මේ කරන උදව් වලට පිං මලිත්. මේ ජොබ් එක සෙට් වුනොත් ඒක මට ලොකු හයියක් බං"

"මුලදි නම් ඉතින් ලොකු පඩියක් ගන්න බැරි වෙයි දසුන්, කට්ට කාගෙන හිටපන් . . . මං අයියට කියලා සදුනිටත් කොහේ හරි ජොබ් එකක් බලන්නම් . . ."

"එපා මලිත්, මට එයාව දැන්ම ජොබ් එකකට යවන්න බෑ. මං කොහොමද මාව විශ්වාස කරලා මං ලගට ආපු කෙල්ලගෙන් හම්බ කරගෙන කන්නෙ. මට ඒක කරන්න බෑ මචන් . . . මං එයාට සදුදා ඉදන් ආයිත් ලෙක්චස් යන්න කිව්වා."

"මොකක් . . . . . ආයිත් කියපන් බලන්න"

"විහිලු නෙමෙයි මලිත්, මං කැමතියි ඉගෙන ගෙන එයා හොද තැනකට එනවානං. අනික අපි බැන්දා කියලා දන්නෙත් දෙතුන් දෙනෙක් විතරයිනෙ. එයා ලෙක්චස් යයි මචන් . . . අවුලක් නෑ . . ."

"දසුන්, මලිත් එන්න ඇවිත් තේ බොන්න."

"ඔන්න සදුනි, මං දසුන්ට අපේ අයියා වැඩ කරන කොම්පැනි එකේ ජොබ් කට්ටක් සෙට් කලා. දැන් ඉතින් ප්‍රශ්නයක් නැහැනෙ ?" මලිත් එහෙම කියදදි සදුනිගෙ මූණ මැලවිලා ගියා.

"මාව කැම්පස් යවලා, එයා ජොබ් එකකට යන්න හදනවා මලිත් . . . . මං කොහොමද කවදහරි දසුන්ගෙ අම්මාගෙයි තාත්තගෙයි මූණ බලන්නෙ."

"දැන් ඕවා හිතන්න එපා සදුනි. හැමදේම වෙන්න තියන විදියට වෙයි."

" මලිත්, මචන් මං හිතුවෙ වීකෙන්ඩ් එකේ ගමේ ගිහින් එන්න."

"එතකොට සදුනි මෙහෙ තනියමනෙ බං."

"එයාවත් එක්කගෙන යනවා . . . ."

"ඇත්තටම උඹේ මොලේ හොද නැද්ද දසුන්"

"අම්මයි තාත්තයි මං මේ ඉන්න තත්වෙ තේරුම් අරන් හිත හදාගනියි මලිත්. අනික මං තව කොච්චර කාලයක් හංගගෙන ඉන්නද ? මලිත් හදිස්සි වැඩක් නැත්නම්, උඹත් වරෙන්කො අපිත් එක්ක යන්න."

"අනේ දසුන්, තරහ වෙන්න එපා මචන්, මං ගියොත්, මේ වෙච්ච දේ ගැන උඹලගෙ අම්මාගෙයි තාත්තගෙයි හිතේ තියන අදහස් උඹට හරියටම දැන ගන්න බැරි වෙනවා. මොකද එතකොට ඒ මිනිස්සු මං ගැනත් හිතලනෙ කතා කරන්නෙ "

"ඒ ගොල්ලො ගම් වල හැදිච්ච මිනිස්සුනෙ දසුන්, අම්මයි තාත්තයි බොරුවට කලබල වෙන එකක් නෑ . . . ."

"මං එහෙනම් ගිහින් එන්නම් දසුන්. ගමේ ගිහින් ඇවිත් කෝල් එකක් දීපන්."

"යනවා සදුනි"

"පරිස්සමෙන් පලයන් මලිත්."

"කලා ඉමු සදුනි, අම්බානක් බඩගිනියි"

"දසුන්, සෙනසුරාදා ගමේ යනවා කියලා කිව්වෙ ඇත්තටමද ?"

"ඔව් ඇයි ? "

"අපි තව ටික දවසක් මෙහෙම ඉමුකො දසුන්"

" ඒ වැඩේ කරන්න බෑ සදු, එක්සෑම් එකට කලින් ගිහින් ආවට පස්සෙ, මං තාම ගෙදර ගියෙ නැහැ. දැන් මාසෙකටත් වැඩියි. මං ගමේ නොගිය හින්දා, තාත්තා අද හෙටම බෝඩිමට එනවා සල්ලි දීලා යන්න. එහෙම ඇවිත් දැන ගන්න කලින්, අපි ගිහින් එමු."

"ඔයා ඔහොම කිව්වට මට හරි බයයි දසුන් . . . . ."

"ඔයා මොකටද බය වෙන්නේ . . . . ? අපේ අම්මලා තාත්තලා, ඕගොල්ලන්ගෙ අම්මලට වඩා ළමයින්ගෙ සතුට ගැන හිතනවා. ඒගොල්ලො කවදාවත් තමන්ගෙ ලාබ ප්‍රයෝජන ගැන හිතලා ළමයින්ගෙ සතුට පාවලා දෙන්නෙ නෑ. ඒගොල්ලො එදා වේල හම්බකරගෙන කන අහිංසක දුප්පත් මිනිස්සු. අනික මට ඔයාට වගේ මදාවි අයියලත් නැහැනෙ. ඒ හින්දා මොකට බය වෙනවද ?. අතගගා ඉන්නෙ නැතුව, ඉක්මනට කාලා ඇවිත් නිදාගන්න. හෙට උදේම ගියොත් අනිද්දා හවස් වෙද්දි එතහැකි. ඔයාට යන්න බැරි නම් මං තනියම යනවා. "

කාමරේට ආවට පස්සෙයි මට හිතුනෙ, මං සදුනිට කත කලා සැර වැඩිද මන්දා කියලා. ඒත් මේ වෙලාවෙ මට අම්මලව අත හරින්න කොහොමත් පුලුවන්කමක් තිබ්බෙ නෑ. සදුනි පොඩි කාලේ ඉදලම හොස්ටල් වල හැදුන කෙල්ලෙක් හින්දා එයාට අම්මලා තාත්තලා ගැන හැගීමක් නැති වුනාට, අවුරුදු දහ අටක්, දහ නමයක් අම්ම ලග හැදුනු වැඩුනු මට ඒ අහිංසක මිනිස්සු ගැන නොබලා ඉන්න පුලුවන් කමක් තිබුනෙ නැහැ. අක්කවත් ගමේ හිටියනම්, මං ටික දවසක් ගෙදර නොගිහින් ඉන්න තිබුනා. ඒත් බැදලා ගෙදරින් ගියාට පස්සෙ අක්කා ගෙදර ආවෙ මාස තුන, හතරකට සැරයක් කියලා දැන දැනත් අක්කා අම්මලට සලකනකල් මට බලන් ඉන්න බැහැ. සදුනිට යුතුකමක් තියනවා මේ හැමදේම තේරුම් ගන්න.

"සදුනි . . . . මොකද කරන්නේ ? නිදාගන්නේ නැද්ද අද ? "

"මං එන්නම්, ඔයා නිදාගන්න දසුන්"
සදුනි කතා කරපු විදියෙන් මට තේරුම් ගියා එයා අඩලා කියලා.

"ඇයි අඩන්නෙ . . . . ? මං ඔයාට අඩන්න තරම් දෙයක් කිව්වෙ නෑ නේ සදු . . . . ඔයා මාව තේරුම් ගන්න. මට ඔයාට දුකක් දෙන්න ඕනෙ වුනේ නෑ. මං වැරදි දෙයක් කිව්ව නම් මට සමාවෙන්න. ඔයා ඔහොම කතා නොකර ඉන්න එපා. තරහක් තියනවනම් මට බනින්න."

"සමාව ඉල්ලන්න ඔයා වැරදි නැහැ දසුන්. මට බය හිතුනා. ඒකයි මං ගෙදර නොගිහින් ඉමු කිව්වෙ. ඔයා තනියම යන්න ඕනෙ නෑ. මාත් එන්නම්. . . . . . කවදහරි මට ඒගොල්ලන්ට මුණ දෙන්න වෙනවනෙ. දැන් යමු නිදාගන්න"

අපි ආයෙත් හමුවෙමු . . . .

Friday 12 February 2010

කදුලු මල් මකරන්ද කුමකද .


යනෙන මාවත සියත් නෙතු මැද ඔබේ නෙත ඇදුනා
සිනහවක් ගෙන ලබැදි ඔබ ලග සොයුරු පෙම රැදුනා
හැඩූ කදුලැලි නෙතින් පිසලන ශෝක ගිනි නිවුනා
මට අහිමි වුන සොයුරු ප්‍රේමයෙ මුදු සුවද දැනුනා . . .

ඔබේ කදුලක රැදුනු දුක දැක සිතට දුක පිරුනා
ඔබෙන් මා ලද සොයුරු ප්‍රේමයෙ මතක තව තිබුනා
මටත් රහසින් ඔහුගෙ නෙත් ලග සෙනෙහසක් පිපුනා
ඔබට කැප නැති මගේ සෙනෙහස ඔහුගෙ අත රැදුනා . . .

මග තොටේ නෙත ගැටුනු විටකදි සිනහවක් ගෙන වඩිනු මැනවී
සොයුරු ප්‍රේමයෙ අරුත පහදා අපට ආසිරි ගෙනෙනු මැනවී . . .
ඔබට හිමි නැති මගේ මතකය හද මතින් ඔබෙ මුදනු මැනවී
කදුලු මල් මකරන්ද කුමකද හෙට ලොවක් ගැන හිතනු මැනවී . . .

Thursday 4 February 2010

මගෙ තරහක් නෑ . . .


මල් හීන මවන් දෙනෙතග
මගෙ කඳුලු පිරුණු ලොව වෙත
වැඩිය දවස හිමි සඳ ඔබ
තව අමතක නෑ . . .

මගේ පුංචි පෙම් හිත ලඟ
සඳ හිරු තරු දිවුරා නුඹ
මට මාවත් නැති කළාට
මගෙ තරහක් නෑ . . .

Monday 1 February 2010

හීන ඉකිබින්දා ( දෙවන කොටස )

පළමු කොටසින්. . . .


අම්මා කෙනෙක්ගෙයි තාත්තා කෙනෙක්ගෙයි හිතට ගින්දරක් දීලා ජීවිතේ සතුට හොයන්න අපි දෙන්නාට බැරි බව දැන දැනත් මං සදුනිව මගේ කරගත්තේ අපේ ආදරේට මැරෙන්න දෙන්න බැරි හින්දමයි. මලිත්ගේ උදව්වෙන් පොඩි ගෙයක් හොයාගෙන මං සදුනිත් එක්ක ඒ ගෙදර පදිංචියට ගියා.

ජීවිතේ ලස්සනම කාලේ මේ විදියට වගකීම් ගොඩකින් පිරිල යද්දි, හිතට දරා ගන්න බැරි තරම් දුකක් නොදැනුනා නොවෙයි.නොකියා හිටියට සදුනිගෙ හිතෙත් ඒ දුක තිබුනා කියලා මං දන්නවා.

" ඔයා අම්මට කෝල් කලාද සදුනි "

" තාම නෑ. මං හෙට ලියුමක් දාන්නම්, අම්මලා අපි ඉන්න තැනක් දැනගන්න ඕනෙ නෑ දසුන්, ඒගොල්ලො ඒක දැනගත්තොත් අපිට නිදහසේ ඉන්න ලැබෙන එකක් නෑ . . . ඒත් මට අම්මා ගැන දුකයි.
තාත්තා කියන දේට විරුද්ධ වෙන්න බැරිකම හින්දා අම්මටත් මගේ කැමැත්තට ඉඩ දෙන්න විදියක් තිබුනෙ නෑ. "

" සදු . . . . " " ඔයා අඩනවද ? "

" මේ අහන්න . . . . . . , ප්‍රශ්න ඇතිවෙන බව දැන දැනත් මං ඔයාව මගේ ලගට ගත්තේ, මං නැති වුනොත් ඔයා දුක් විදියි කියලා බයට. "

" මං ලග ඉදිද්දි ඔයාට අඩන්න බෑ සදු . . . . . ."

" ටික කලයක් යද්දි තාත්තගෙ හිත වුනත් වෙනස් වෙයි . . . . . අපි තව දවසකින් ගිහින් අම්මව බලලා එමු. අම්මා ඔයාට සමාව නොදී ඉන්න එකක් නැහැ. දැන් අඩන්නෙ නැතුව ඉන්න. "

" මං කඩේට ගිහින් කන්න මොනවාහරි අරන් එන්නං "

" එපා දසුන්, මං උයන්නම් . . . . . ."

" අපි හෙට ඉදන් උයමු, අද රෑට කඩෙන් කමු " කිව්වා විතරයි සදුනි " එහෙනම් පොඩ්ඩක් ඉන්න " කියාගෙන කාමරේට ගියා. සදුනි ආයෙත් කාමරෙන් එලියට ආවෙ පොඩි බෑග් එකකුත් අරගෙන.

" ඔය මොකක්ද ? "

" මෙහෙන් පොඩ්ඩක් වාඩි වෙන්නකො කියන්න " මං සදුනි ලගට ගිහින් වාඩි වුනා.

" දසුන්, මේ අම්මා මට අරන් දුන්න මාලෙකුයි වලලු හතරකුයි, මං එදා ගෙදරින් එද්දි මේ ටික අරන් ආවා. ඔයා මේ ටික විකුණලා කීයක් හරි ගන්න, මට මේව තිබුණ කියලා වැඩක් නැහැනෙ "
" ඕනෙ වුනොත් පස්සෙ මාලයක් හදාගමු "

" එපා සදු . . . , මං ලග වියදමට සල්ලි තියෙනවා. පහුගිය දවස් ටිකේ ඒ ලෙවල් තිබුණ හින්දා, මං ටිකක් වැඩිපුර ක්ලාස් කලා. ඔයා පරිස්සමින් ඉන්න, මං ටක් ගලා කන්න මොනවහරි අරන් එන්නම් . . . "

සදුනිගෙ හිත හදන්න හිතාගෙන වියදමට සල්ලි තියෙනවා කිව්වට, මගේ ලග මහ ලොකු ගානක් තිබුණේ නෑ.ටියුෂන් කරලා හම්බවෙන ගාණෙන්, මං මගෙ වියදම පිරිමහගන්නෙත් හුගක් අමාරුවෙන්. කඩේට ගිහින් ආපහු ගෙදර එනකලුත් මං කල්පනා කලේ ඉක්මණට ජොබ් එකක් හොයාගන්න විදියක් ගැන.

මං ගෙදර යද්දි අපේ ගේ ඉස්සරහ තියන බංකුව උඩ ඉදගෙන සදුනි මං එනකල් බලන් ඉන්නවා.

" ඇයි සදුනි මෙතන ? මේ රෑ තනියම එලියෙ ඉන්න එපා, ඔයාට මේ පැත්ත පුරුදුත් නැහැනෙ "

"මං තනියම නෙමේ දසුන් හිටියෙ, එහා ගෙදර අක්කා ඇවිත් මෙච්චර වෙලා මාත් එක්ක කතා කර කර ඉදලා දැනුයි ගියෙ. එයා කිව්වා එයා වැඩ කරන තැන මටත් මොකක් හරි ජොබ් එකක් හොයලා දෙන්න බලන්නම් කියලා "

" මොකක් හරි ජොබ් එකක් . . . . ? "

" මං ඔයාව බැන්දෙ ඔයාගෙන් හම්බකරගෙන කන්න නෙමෙයි සදුනි. අනික ඔයා මෙඩිකල් ෆැකල්ටි ආවෙ මොකක් හරි ජොබ් එකක් කරන්නද ? ඔය විකාර නවත්තලා, මෙච්චර කල් ගියා වගේ හෙට උදේ ඉදන් ලෙක්චස් යන්න ලෑස්ති වෙන්න. මට පුලුවන් ඉතුරු අවුරුද්ද ඔයාට ඉගෙනගන්න වියදම් කරන්න "

" ඒක නම් කරන්න බැහැ දසුන්. ඔයා මටත් වඩා හොදට ඉගෙන ගන්න පුලුවන් කෙනෙක්. එහෙම එකේ ඔයාගෙ ඉගෙනීම කඩා කප්පල් කරලා දාලා මට ඉගෙන ගන්න බෑ.මං එහෙම කළොත් ඔයාගෙ අම්මයි තාත්තයි මට සාප කරයි දසුන්"

" ඔයා මගෙ අම්මයි තාත්තයි ගැන දන්නෙ නෑ සදු . . . නිවාඩු දවසක මං ඔයාව ගමේ එක්කගෙන යන්නං "

" ඔයා හෙට ලෙක්චස් යනවා නේද ? "

මං සදුනිට ලං වෙලා එහෙම අහද්දි ඒ ඇස් වල කදුලු පිරෙනවා මං දැක්කා.මුලින් අකමැති වුනත් මං හැමදේම ටික ටික තේරුම් කරලා දෙද්දි, සදුනි මගෙ ඉල්ලීමට එකග වුණා.ඇත්තටම මට ඕනෙ වුනේ, මං සදුනිව මගේ ලගට අරන් එයාගෙ අම්මගෙයි තත්තාගෙයි බලපොරොත්තු කඩලා දැම්මෙ නෑ කියලා කවදාහරි ඒගොල්ලන්ට පෙන්නන්න.

" එන්න, අපි ගෙට ගිහින් කාලා ඉමු, දැන් අටත් පහු වෙලානෙ.

මං ඉක්මණට වොෂ් එකක් දාගෙන එන්නම් සදු . . . "

හීතල වතුර බින්දු ඇගට වැටෙද්දි, මට කල්පනා කරන්න හුගක් දේවල් තිබුණා. මේ තරම් ඉක්මණට කසාද බදින්න හීනෙකින්වත් හිතාගෙන හිටපු කොල්ලෙක් නෙවෙයි මං. කැම්පස් එක ඇතුලෙ අපි දෙන්නම ගතකළේ, පුදුම තරම් සැහැල්ලු ජීවිතයක්. ඒත් ඉස්සර වගේ එම්.සී එකට හරි ලිබර්ටි එකට හරි ෂොපින් ගිහින් වැරදිලවත් අත් හරින්නෙ නැති විදියට අතේ එල්ලීගෙන, එක අයිස් ක්‍රීම් එක කකා, කරට අත දාගෙන දෙනෝදාහක් මැද්දෙ ඇවිදගෙන යන්න පුලුවන්ද . . . බැදපු ගෑනියෙකුටයි මිනිහෙකුටයි . . .

" දසුන් . . . දසුන් . . . මලිත් ඇවිත් . . . . "

සදුනි කෑ ගහද්දි මං ඉන්නෙ කොහෙද කියලයි මට මතක් වුනේ. මං අඩුම තරමෙ විනඩි හතලිස් පහක් වත් නාන්න ඇති.

" මලිත්ට වාඩිවෙන්න කියලා තේ එකක් හදන්න, මං ඉක්මණට එන්නම් සදු . . . " මං නලා එද්දි මලිත් එලියෙ.

"මලිත් . . මොකද බං එලියෙ කරන්නේ, වරෙන් ගෙට. මං සදුනිට කිව්වනෙ උඹට ගෙට කතාකරන්න කියලා . "

"සදුනි කත කළා බං . . . මං මේ නිකන් එලියට ආවා . . . " " හරි හරි වරෙන්කො ගෙට, තේ එකක් බීලා හෙමින් සැරේ කතා කරමු "

" තේ බිබී ඉන්න වෙලාවක් නෑ බං, මං ඉක්මණට යන්න ඕනෑ . . කොහෙද උඹලා දෙන්නගෙන් එකෙක්ගෙවත් ෆෝන් වැඩ කරන්නෑ . මං ආවේ හදිස්සි පණිවිඩයක් කියලා යන්න "

" හදිස්සි පණිවිඩයක් . . . . "


අපි ආයෙත් හමුවෙමු . . . . .