Wednesday 13 October 2010

ආත්මයම ඔයා ලඟින්, නතර උනා සත්තයි.....


හොරෙන් බලා ඉඟි කලාම......
දුරින් ඉඳන් හිනැහුනාම......

ඔයා මගේ පෙම් හිත ලඟ,
මැව්ව සිහින බොහොමයි.........

වලි හොය හොය දැඟලුවාට.....
මම ලොකු කම පෙන්නුවාට.....
මගේ හිතත් මට හොරාම,

ආල වැඩුව පුදුමයි......

හමු වී අපි නොදෙඩුවාට....

නිතර තුරුලෙ නොරැඳුනාට.....

ආත්මයම ඔයා ලඟින්,

නතර උනා සත්තයි.....

Sunday 25 July 2010

ආදරේ පෙන්නන්නේ කොහොමද මං


නිල් අහසට වැට බදින්නෙ
කොහොමද මං
තරු දෙනෙත් අඩනවා . . .
හමන සුළගට එපා කියන්නෙ
කොහොමද මං
සුසුම් වැල් මට ඉගි පානවා . . .
සදවතට කලුවර දෙන්නෙ
කොහොමද මං
හිත් මල් යායම අමාවක වෙනවා . . .
ආදරේ පෙන්නන්නේ කොහොමද මං
මගේ පෞරුශය බල්ලට යනවා . . .

Sunday 18 July 2010

ඇයත් නුඹ හැර ගියපු දවසක...........


හමුවෙලා යහළුවන් මගතොට,
මගෙන් නුඹ ගැන අහනවා.........
සිහිවෙලා නුඹ,නෙතින් වෑහෙන,
කඳුළු බිඳු මම ගනිනවා.........
මගේ කඳුලට සාප කර කර,
ඔයා තව උඩ පනිනවා.........
ඇයත් නුඹ හැර ගියපු දවසක,
ඔයත් මේ දුක විඳිනවා........

ජීවිතේ ඔය දෑත් මත තැබු,
මගේ හිත ඔබ දන්නවා.........
ඔයා ඇගෙ හිත මත්තෙ මැරුනට,
ඔයා ගැන මම බලනවා......
එයා ඔය හිත රැවැට්ටුව බව,
ඔයා අද හෙට දකිනවා......
ඇගේ ඇසුරින් මිදුනු දවසක,
මගේ ලඟ ඉඩ තියනවා........

Sunday 27 June 2010

නුඹේ උණුසුම් සුවය


ඇස් පියන් තද කරන්
නින්ද වෙත දුවද්දී
නුබේ කට හඩ ඇසී
තිගැස්සී බලනවා . . . .


සිහින සිත නුඹව දැක
හිත කීරි ගැහෙද්දී
නෙතු අගින් කදුලු බිදු
ඉබේටම වැටෙනවා . . . .


නො එන බව දැන දැනත්
යලිදු මා වෙතට
නුඹේ උණුසුම් සුවය
හෙටත් මම සොයනවා . . . .

Sunday 20 June 2010

එක හුස්මකට ඉඩ තියේ . . .


සදට හාදුවක් දී සීතලේ
සුළග රහසින් අසයි ඔබ කොහේ
ඇස් පියන් වැසුව විට ආදරෙන්
දැනෙයි ඔබ ලග ඉන්න වග මගේ
සිතට දුකක් දැනෙන හැම තත්පරේ
ඔබ ගැනම සිත සිතා හද දැවේ
හීනෙනුත් දකින්නට සිතා ගමි
නුඹ ඇදෙයි මගේ නෙත් මායිමේ . . . .


නින්ද බිදෙනා විටක මැදියමේ
අවදි වී බලමි ඔබ ලග නොවේ
කදුල කදුලක හොවා හොයන්නෙමි
ආදරේ ගීතයක් වී ගැයේ
අදත් මේ දැනුත් මගෙ ඇස් කොනේ
කදුලු බිදු පේලියක පණ ගැහේ
ඇගිලි තුඩු වෙහෙසවා ගනින්නෙමි
ඔබ ගිහින් කොතෙක් දැයි දින ගියේ . . . .


හැමදාම මගෙ පුංචි දින පොතේ
පුංචි කවියක් දෙකක් පෙල ගැහේ
හිතට හරි බයයි නුඹ නො එන විට,
හුස්ම ගන්නටත් බය හිතේ
ඇත්තමයි කලු ගැහුනු ආකාසේ
මං වගේමයි හඩයි වැහි වැටේ
එන්න, මග බලන මගෙ හදවතේ
ඔබේ එක හුස්මකට ඉඩ තියේ . . . .

Friday 28 May 2010

බස් රථයේ සිට අම්මාට ලියූ SMS මාඟල........


ඈ දකින්න යන හැමදා ට
ගෙනවිත් ඇරලවන විට
කොප්පරා හන්දියට
බසයක් අල්ලගන්නට
ආපසු යන්න ආණමඩුවට
ගෙවූ රසගුලා හෝරා දැහැනට
කල්පනා සයුරේ ගිලී විටින් විට
සිතකින් නොවේ ගාට ගාට
එන්නේ ඈ ලඟ තබා සතු ට
. . ..
බලාහිඳී ඈ;
අහිOසක ඇස් යොමා
මුවැත්තියක මෙන්
යාමට නොදී ලෝබව
හදෙහි තෙරපන අපරිමිත
සෙනෙහසින් කැකෑරෙන……
. . .
සැමදා අවෙමි මම
ඇගේ නලලත අතගා
හිස පිරි මැද
දෝරෙ ගලන සෙනෙහසින්
කියාගන්න බැරි වේදනාවකින්
. . ..
රැගෙන ඒමට සිත්විය සැමදින
ඇයව
දෙවුරේ හොවාගෙන
නිවසටම…………
. . . .
සමාවෙයන් අම්මේ මට............!!!!!!!!!
ගෙනෙන්නෙමි එසේ මම නුඹේ ලේලිය
අනවසරෙන්
දෑවැදි නොමැතිවම…….
. . .
හරවා යවන්න ලොබ සිතුනා ඇයව....
Scooty Pet එක
Currier කෙලෙමි නිවසට
බැඳල හිටියත් ඉඳලා බැන්දත්
එකයි නෙව
කොල කෑල්ලකට
මහ ලොකු වටිනාකමක් මොටද . . ?
. . .
කැල්ටන් බේකරියේ බිත්තර පේස්ට්රි?
ජයකොඩියගෙ කඩෙන් අයිස් ක්රීමම්ද
මිලට ගන්නට ගිය හැටි . . .
කිසිවෙක් එහෙට මෙහෙට වුනු අල්ල පනල්ලේ
ඇගේ වත සිපගත්'යුරුද
වත්ත පහල කජු ගහට වත්තම්වී
තුරුල් කරන් සිටි'යුරුද
මට මැවී මැවී පෙනුනා අම්මේ . .
බසයට නැග ආපසු හැරී බලපු ඇසිල්ලේ . .
. . .
තොරන් බඳින්නට ඕනේ නැහැ
මඟුල් බෙර සද්ද එපා
පෝරු තැලිපිළි
ඥාති සOග්ර හ
මේ ඔක්කොම බොරු මනස්ගාත
හොඳවයින් ලුණුමිරිසක් එක්ක
රතු කකුළු කිරිබතක් උයාපන්
මඟුල් බත වෙනුවට
. . .
ඉර අවරට යන හෝරාවේ
සුදු මල් වත්කල
පැන් වීදුරුවක් අතින්ගෙන
පෙරමග බලා සිටපන්
පිලිගන්නට අපව
හිතේ කහටක් නොමැතිව
. . ..
උඹේ ආසිරි...මහමෙරකි මට

අස0ක ගුරුගේ

Friday 21 May 2010

ඔබ පතනා ලොව සොයා යන්න නොරැඳී...... ඔබේ ලොවට මුදු මල් පාවඩ පතමී........


නුඹේ අදරැති දෙනෙත් දැක,
සිනාසුනෙමි,
නුඹේ රුව
කඳුලෙන් බොඳ වන තුරු.....
කඳුලු පිසලූ දෙනෙත්
බලන සඳ විවර කර,
මට පිටුපා යන නුඹ දැක,
හැඩුවෙමි...
කඳුල මත
නුඹේ දසුන මැවෙන තුරු....

Wednesday 12 May 2010

තරහ වෙන්න එපා . . .



මැවුනු දිනේ පළමුවෙන්ම ඒ රුව මා අසලින්
ආල හැගුම් හදවත ලග ඇති වුනෙ හුග කලෙකින්
ඇය හැමදා මගේ වෙන්න ඉන්නවා දින ගනිමින්
පෙලපත් කුලගොත් හරහට ඇවිදින් අපි අතරින්. . . . . . . .

අම්මා කිව්ව නිසාම මම නුඹ බලන්න ඇවිදින්
රව්ට්ටන්න බෑ ඔයාව සොදුරු සිහින මවමින්
ඇය තාමත් මගේ ලොවේ ඉන්නවා හරි ඉහලින්
තරහා වෙන්න එපා නංගි වෙන්වෙමු අපි සතුටින්. . . . . . .

Wednesday 21 April 2010

ඔයාට සදා ජය.....!


ජීවිතේ ටික ටික ඉස්සරහට යද්දි, මගේ කියල මං හිතගෙන හිටිය හුඟක් දෙවල් මට අහිමි වෙලා... පණ දෙවෙනි තැනට දාලා, තවත් කෙනෙක්ට ආදරේ කරද්දි, දෙවතාවක් හිතන්න ඕනෙ කියලා මට කවුරුත් කියල දීල තිබුනෙ නැහැ.ඒ හින්දයි මේ තරම් දුක් විඳින්න වෙල තියෙන්නෙ.....
ඒ කොහොම උනත්,ඔයාට හුඟා...ක් පිං.මොකද,ඔයාගෙ උත්සහය,උනන්දුව නොතිබුනානම්,මගෙ හිතේ තිබුන "සිත්මල" සිහිනය,අදටත් සිහිනයක්ම වෙන්න තිබුනා.මොනව උනත් එක දෙයක් වගකීමෙන් කියන්න ඕනෙ."සිත්මල" වෙනුවෙන් මං කලේ,කොල කෑල්ලක් අරගෙන,වචන දෙක තුනක් එහාට මෙහාට හරවපු එක විතරයි.අද "සිත්මල" යම් තැනක ඉන්නවනන්, ඒ ඔයා හින්දා.
"සිත්මල" ගොඩ නැගුව ඔයා වෙනුවෙන්,පුංචි ඉඩක් හරි වෙන් කලේ ඒ හින්දයි.
මං විශ්වාස කලා මාව අත ඇරියත් ඔයා "සිත්මල" අත නො අරියි කියල.
ඒත් ඔයා මාව අත අරින්නත් කලින් අපි ආදරෙන් ගොඩ නැගුව "සිත්මල" අත ඇරියා.එදා,මං ඉවසුවා,ඇත්තටම ඉවසුවා...... ඔයා දාල ගියෙ,"සිත්මල" විතරනෙ" කියලා හිතල එදා මං හිත හදාගත්තා.ඔයා එදා "සිත්මල" අත ඇරියා වගේ, ලෙසියෙන්ම අද මාවත් අත ඇරලා.කමක් නැහැ.
ඔයා සතුටින්නං,ඇත්තටම කමක් නැහැ.මොනව උනත්, මං අපි අදරෙන් ගොඩ නැගුව "සිත්මල" අත අරින්නෙ නැහැ.මොකද,එතන අපි දෙන්නගෙම ආත්මය හැන්ගිලා තියනවා......
ඔයා නොදන්නව උනාට,මං ඔයාට පණ දෙන්න බලාගෙන හිටිය කෙල්ලෙක්. ඔයා දාල ගියෙ එහෙම ආදරයක්......
කවුරු එක්ක,කොහේ කොහොම හිටියත්, සතුටින් ඉන්න.ඔයාට සදා ජය.....!
පණ ඔබයි සිතා මා ඔබ හට පෙම් කල හින්දා. . . . . .
ඔබ නොමැති ලොවක මා ජීවත් වේවිද මන්දා. . . . . .
මං, මදූ.....

සිනහවක් වී. . . . .


සිනහවක් වී ඔබ මගේ,
නෙතු තුල ඉන්න. . . . .
කවියක් වී ඔබ මගේ,
දෙතොල් අතරට එන්න. . . . .
සුසුමක් වී ඔබ මගේ,
හද මැදුරෙහි ඉන්න. . . . .
කිසිදා නොයන ලෙස,
ඔබ මගේ,
ලඟටම එන්න. . . . .

Thursday 8 April 2010

මම සිනාසුනා විතරයි . . . .


අහස හොදටම කලු වෙලා
මං හිතුව වහී කියලා
ඒත් නෑ වැස්සේ නෑ
අහස කලු කලා විතරයි. . .

අරලිය ගගේ ලස්සනට මල් පිපිලා
මං හිතුව සුවද හමයි කියලා
ඒත් නෑ සුවද හැමුවෙ නෑ
මල් පිපුනා විතරයි. . .

ඔයා යනව කියල කිව්වහම
මං හිතුව මං අඩයි කියලා
ඒත් නෑ . . .
මං ඇඩුවෙ නෑ
කදුලු අතරින් හිනා වුණා විතරයි. . .

Wednesday 31 March 2010

ඉවරා.......යි....

සුන්දර සිහින මුතු පොටකට අමුනාලා. . . . .
ඉස්සර හෙවුවෙ fun එකමයි වලි කාලා. . . . .
එකට හිටිය උන් අද ඇත රජ වීලා. . . . .
මට මක් වුනිද නැත තවමත් වැටහීලා. . . . .

අම්මා අපේ මගෙ පැත්තට අත දෙනවා. . . .
තාත්තනං හැම තිස්සෙම ඔරවනවා. . . .
Project එකට මං වැඩිපුර වෙහෙසෙනවා. . . .
පාසල් නොගොස් කල ගොන්කම තේරෙනවා. . . .

සටහන් මිටිය ඇත සමනල කන්ද වගේ. . . .
නිදිමත දැනෙයි ඒ කන්දේ මුදුන වගේ. . . . .
කොල්ලව පෙනේ පූරුවෙ කල පවක් වගේ. . . .
ඇනුනොත් විභාගය අපි බලු පැටවු වගේ. . . . .

Sunday 28 March 2010

හීනෙන්වත් එන්නෙපා . . .


සුදු ගව්මට පොත් මිටියට
තහනම් යැයි කියන . . . . .
පාසල් පෙම තුරුලු කරන්
නිරතුරු මන් දුටුව . . . . .
හීන අහුරු පොඩි කර දා
නුඹ ගිය වග දුරක . . . . .
සිහි කරකර හිනැහෙමි මම
අඬන්න බැරි කමට . . . . .

ඔබ ආගිය වග තුග මං
හොයන්නෙවත් නැතුව. . . . .
කොච්චරනම් පෙම් කලාද
ඔබ ගෙතු බොරු ගොඩට. . . . .
සමා අයැද මගෙ හිත ලඟ
කරගත් පවු වලට. . . . .
හීනෙන්වත් එන්න එපා
අයෙත් මං ලඟට. . . . .

පිවිතුරුයැයි සිතූ ඔබට
සින්නක්කර ලිව්ව . . . . .
මගෙ හිත මං ඔහුට පිදුවෙ
මකන්න ඔබෙ මතක . . . . .
ඔහු ඔබගෙම සොහොයුරාය
දන්නේ මම අදය . . . . .
ආයෙත්නම් පෙම් නොකරමි
ජීවත් වෙන තුරුම . . . . .

Wednesday 24 March 2010

සිහිනයක් . . .


සිහින විමනින්
පැතුම් පතමින්
මොදු වෙන සද නුඹ තමයි......
සොදුරු කවි වැල්
සොදුරු තාලෙට
එකට බැන්දේ නුඹ තමයි.....
ආදරේ සුව මිහිරියාවෙන්
මටම පිදුවෙ නුඹ තමයි ....
සිහිනයක් වී මගේ දිවියට
ඒවිදො යලි මට සැකයි.....


ජිවිතෙ සුව අරුත වි නුඹ ගෙවු කාලය මට සුවයි
වසන්තය සුනු විසුනු කරවා ගියේ නුඹ මිස මා නොවෙයි
සිතේ ඇති දුක නිමා ලන්නට කොතෙක් බැට කැවා තමයි
එහෙත් හිමියනි නුඹෙන් තොර ලොව සිහිනයක් යැයි මට සිතෙයි.

Thursday 18 March 2010

ඔහු මට කවියක් . . .

රෑ අහසත් සඳ එලියත්
සොඳුරු සිත්තමක් . . .
නෙලුම් විලත් හන්ස කැලත්
සුපෙම් ගීතයක් . . .
ඔහුගෙ පෙමත් අතීතයත්
තවම සිහිනයක් . . .
දුක පිරුනත් පද ලෙහුනත්

ඔහු මට කවියක් . . .

Monday 8 March 2010

නුඹ . . . .


නුඹ දන්නවනම්,
මම නුඹට පෙම් බඳින තරම් . . .
නුඹට ඇසෙනවනම්,
මසිත නුඹ අබියස ගැහෙන තරම් . . . . .
නුඹ දකිනවනම්,
නුඹ නමින් මා හඬන තරම් . . . .
අනේ නුඹට හැඟෙනවනම්,
මට නුඹෙන් තොර ලොවක් නැති තරම් . . . . .

Friday 5 March 2010

අහිමි පෙම...


වෛර නොකරමි අහිමි පෙම වෙත . . .
ලත නොවෙමි එය ගැන සිතා මම . . .
සිනාසුනු හැටි පෙම් කෙරූ කල . . .
මතක් වෙනකොට අද ඇඬෙයි මට . . .


තිලිනි ඉසංකා

ඈ ගියා මා දිහා නොබලා . . .


නිසල් ඉවුරේ සීත සෙවනේ
ජීවිතේ සුව විදින මොහොතේ
සොදුරු රුවකට මසිත බැදුනේ
කෙසේ පවසම් ඇගේ වරුනේ . . .

දෑස සුන්දර අදුන් තවරා
දෙතොල් රතු කර සිනහ දවටා
සිහින් සුන්දර දෑත දවටා
ඈ ගියා මා දිහා නොබලා . . .




චතුර වේරගොඩ

Thursday 4 March 2010

මගේ දුක නිවනවා . . .


නිහඩ රෑ තුන් යමේ
කදුලු මල් පිපෙනවා
තරු එළිය දැක ගන්න
මගේ නෙතු හඩනවා
දුරුතු සීතල ඇවිත්
අසපුවට එබෙනවා
නුඹේ සුසුමක සුවද
මගෙ හදට දැනෙනවා . . .
ජීවිතේ බිදෙන් බිද
ඉදිරියට ඇදෙනවා
සුවහසක් දෑස් ලග
තනිකමක් දැනෙනවා
කුරිරු ලොව අබියසදි
හදට දුක පිරෙනවා
නුඹෙ දෑස කවියක්ව
මගේ දුක නිවනවා . . .

Sunday 28 February 2010

හැදින්නෙමි . . .


විඩාපත් සිත නිවා
සිනහ මල් නෙලන්නෙමි
නිගා දෙන ලෝකයෙන්
දුරස් වී හිදින්නෙමි
නුඹේ නෙතු කැල්මකින්
ලොව සොදුරු දකින්නෙමි
සෙනෙහසේ මුදු සුවද
නුඹෙන් මම හැදින්නෙමි . . .

Thursday 25 February 2010

ඇයි ගියේ වෙන අහසක් සොයා . . .




මගේ හිත් අහසට එදා
අහම්බෙන් ඔබ පායලා
සිතම පිරිමැද ආදරේ විද
කීවෙ මා ඔබගේ කියා
පතාගෙන හිටියත් බලා
විශ්වයම ඔබමයි කියා
අවදි කර පෙම මගේ සද ඇයි
ගියේ වෙන අහසක් සොයා . . .

Sunday 21 February 2010

තනි වුනේ නුඹ නොවේ . . .


කෙම් බිමක් සොයා ගියෙ
රුදුරු වු කතරකය
මිරිගුවක මුලා විය
මා දෙනෙත් නොසිතු ලෙස
අනන්තය සොයා ගිය
පැතුම් මල් මිලින විය
තනි වුනේ නුඹ නොවේ
පෙම් කෙරූ මා සිතය

Thursday 18 February 2010

හීන ඉකිබින්දා ( තුන්වන කොටස )

දෙවන කොටසින් . . . .

මලිත් හදිස්සියක් කියලා කියද්දි මට හිතා ගන්න බැරි වුනා, මේ මනුස්සයා මොනවා කියන්න යනවද කියලා.

"ඇයි මලිත් . . . අපේ ගෙදරින්වත් කවුරුහරි බෝඩිමට ආවද? "

"නෑ බං එහෙම අවුලක් නෙමෙයි. මං උඹට කිව්වෙ අපේ අයියා කෙනෙක් මෙහෙ ප්‍රයිවට් කම්පැනියක වැඩ කරනවා කියලා. මං ඒ අයියට උඹ ගැන කියලා තිබුනෙ . . . උඹ පහුගිය දවස් ටිකේම ජොබ් එකක් බල බලානෙ හිටියෙ. . . අයිය කිව්වා උඹට ලබන සදුදා නමය විතර එහෙට එන්න කියලා. එයා පුලුවන් උදව්වක් කරයි මචන්. . . මෙන්න මෙතන තියනවා ඇඩ්ඩ්‍රස් එක."

"මට මේ කරන උදව් වලට පිං මලිත්. මේ ජොබ් එක සෙට් වුනොත් ඒක මට ලොකු හයියක් බං"

"මුලදි නම් ඉතින් ලොකු පඩියක් ගන්න බැරි වෙයි දසුන්, කට්ට කාගෙන හිටපන් . . . මං අයියට කියලා සදුනිටත් කොහේ හරි ජොබ් එකක් බලන්නම් . . ."

"එපා මලිත්, මට එයාව දැන්ම ජොබ් එකකට යවන්න බෑ. මං කොහොමද මාව විශ්වාස කරලා මං ලගට ආපු කෙල්ලගෙන් හම්බ කරගෙන කන්නෙ. මට ඒක කරන්න බෑ මචන් . . . මං එයාට සදුදා ඉදන් ආයිත් ලෙක්චස් යන්න කිව්වා."

"මොකක් . . . . . ආයිත් කියපන් බලන්න"

"විහිලු නෙමෙයි මලිත්, මං කැමතියි ඉගෙන ගෙන එයා හොද තැනකට එනවානං. අනික අපි බැන්දා කියලා දන්නෙත් දෙතුන් දෙනෙක් විතරයිනෙ. එයා ලෙක්චස් යයි මචන් . . . අවුලක් නෑ . . ."

"දසුන්, මලිත් එන්න ඇවිත් තේ බොන්න."

"ඔන්න සදුනි, මං දසුන්ට අපේ අයියා වැඩ කරන කොම්පැනි එකේ ජොබ් කට්ටක් සෙට් කලා. දැන් ඉතින් ප්‍රශ්නයක් නැහැනෙ ?" මලිත් එහෙම කියදදි සදුනිගෙ මූණ මැලවිලා ගියා.

"මාව කැම්පස් යවලා, එයා ජොබ් එකකට යන්න හදනවා මලිත් . . . . මං කොහොමද කවදහරි දසුන්ගෙ අම්මාගෙයි තාත්තගෙයි මූණ බලන්නෙ."

"දැන් ඕවා හිතන්න එපා සදුනි. හැමදේම වෙන්න තියන විදියට වෙයි."

" මලිත්, මචන් මං හිතුවෙ වීකෙන්ඩ් එකේ ගමේ ගිහින් එන්න."

"එතකොට සදුනි මෙහෙ තනියමනෙ බං."

"එයාවත් එක්කගෙන යනවා . . . ."

"ඇත්තටම උඹේ මොලේ හොද නැද්ද දසුන්"

"අම්මයි තාත්තයි මං මේ ඉන්න තත්වෙ තේරුම් අරන් හිත හදාගනියි මලිත්. අනික මං තව කොච්චර කාලයක් හංගගෙන ඉන්නද ? මලිත් හදිස්සි වැඩක් නැත්නම්, උඹත් වරෙන්කො අපිත් එක්ක යන්න."

"අනේ දසුන්, තරහ වෙන්න එපා මචන්, මං ගියොත්, මේ වෙච්ච දේ ගැන උඹලගෙ අම්මාගෙයි තාත්තගෙයි හිතේ තියන අදහස් උඹට හරියටම දැන ගන්න බැරි වෙනවා. මොකද එතකොට ඒ මිනිස්සු මං ගැනත් හිතලනෙ කතා කරන්නෙ "

"ඒ ගොල්ලො ගම් වල හැදිච්ච මිනිස්සුනෙ දසුන්, අම්මයි තාත්තයි බොරුවට කලබල වෙන එකක් නෑ . . . ."

"මං එහෙනම් ගිහින් එන්නම් දසුන්. ගමේ ගිහින් ඇවිත් කෝල් එකක් දීපන්."

"යනවා සදුනි"

"පරිස්සමෙන් පලයන් මලිත්."

"කලා ඉමු සදුනි, අම්බානක් බඩගිනියි"

"දසුන්, සෙනසුරාදා ගමේ යනවා කියලා කිව්වෙ ඇත්තටමද ?"

"ඔව් ඇයි ? "

"අපි තව ටික දවසක් මෙහෙම ඉමුකො දසුන්"

" ඒ වැඩේ කරන්න බෑ සදු, එක්සෑම් එකට කලින් ගිහින් ආවට පස්සෙ, මං තාම ගෙදර ගියෙ නැහැ. දැන් මාසෙකටත් වැඩියි. මං ගමේ නොගිය හින්දා, තාත්තා අද හෙටම බෝඩිමට එනවා සල්ලි දීලා යන්න. එහෙම ඇවිත් දැන ගන්න කලින්, අපි ගිහින් එමු."

"ඔයා ඔහොම කිව්වට මට හරි බයයි දසුන් . . . . ."

"ඔයා මොකටද බය වෙන්නේ . . . . ? අපේ අම්මලා තාත්තලා, ඕගොල්ලන්ගෙ අම්මලට වඩා ළමයින්ගෙ සතුට ගැන හිතනවා. ඒගොල්ලො කවදාවත් තමන්ගෙ ලාබ ප්‍රයෝජන ගැන හිතලා ළමයින්ගෙ සතුට පාවලා දෙන්නෙ නෑ. ඒගොල්ලො එදා වේල හම්බකරගෙන කන අහිංසක දුප්පත් මිනිස්සු. අනික මට ඔයාට වගේ මදාවි අයියලත් නැහැනෙ. ඒ හින්දා මොකට බය වෙනවද ?. අතගගා ඉන්නෙ නැතුව, ඉක්මනට කාලා ඇවිත් නිදාගන්න. හෙට උදේම ගියොත් අනිද්දා හවස් වෙද්දි එතහැකි. ඔයාට යන්න බැරි නම් මං තනියම යනවා. "

කාමරේට ආවට පස්සෙයි මට හිතුනෙ, මං සදුනිට කත කලා සැර වැඩිද මන්දා කියලා. ඒත් මේ වෙලාවෙ මට අම්මලව අත හරින්න කොහොමත් පුලුවන්කමක් තිබ්බෙ නෑ. සදුනි පොඩි කාලේ ඉදලම හොස්ටල් වල හැදුන කෙල්ලෙක් හින්දා එයාට අම්මලා තාත්තලා ගැන හැගීමක් නැති වුනාට, අවුරුදු දහ අටක්, දහ නමයක් අම්ම ලග හැදුනු වැඩුනු මට ඒ අහිංසක මිනිස්සු ගැන නොබලා ඉන්න පුලුවන් කමක් තිබුනෙ නැහැ. අක්කවත් ගමේ හිටියනම්, මං ටික දවසක් ගෙදර නොගිහින් ඉන්න තිබුනා. ඒත් බැදලා ගෙදරින් ගියාට පස්සෙ අක්කා ගෙදර ආවෙ මාස තුන, හතරකට සැරයක් කියලා දැන දැනත් අක්කා අම්මලට සලකනකල් මට බලන් ඉන්න බැහැ. සදුනිට යුතුකමක් තියනවා මේ හැමදේම තේරුම් ගන්න.

"සදුනි . . . . මොකද කරන්නේ ? නිදාගන්නේ නැද්ද අද ? "

"මං එන්නම්, ඔයා නිදාගන්න දසුන්"
සදුනි කතා කරපු විදියෙන් මට තේරුම් ගියා එයා අඩලා කියලා.

"ඇයි අඩන්නෙ . . . . ? මං ඔයාට අඩන්න තරම් දෙයක් කිව්වෙ නෑ නේ සදු . . . . ඔයා මාව තේරුම් ගන්න. මට ඔයාට දුකක් දෙන්න ඕනෙ වුනේ නෑ. මං වැරදි දෙයක් කිව්ව නම් මට සමාවෙන්න. ඔයා ඔහොම කතා නොකර ඉන්න එපා. තරහක් තියනවනම් මට බනින්න."

"සමාව ඉල්ලන්න ඔයා වැරදි නැහැ දසුන්. මට බය හිතුනා. ඒකයි මං ගෙදර නොගිහින් ඉමු කිව්වෙ. ඔයා තනියම යන්න ඕනෙ නෑ. මාත් එන්නම්. . . . . . කවදහරි මට ඒගොල්ලන්ට මුණ දෙන්න වෙනවනෙ. දැන් යමු නිදාගන්න"

අපි ආයෙත් හමුවෙමු . . . .

Friday 12 February 2010

කදුලු මල් මකරන්ද කුමකද .


යනෙන මාවත සියත් නෙතු මැද ඔබේ නෙත ඇදුනා
සිනහවක් ගෙන ලබැදි ඔබ ලග සොයුරු පෙම රැදුනා
හැඩූ කදුලැලි නෙතින් පිසලන ශෝක ගිනි නිවුනා
මට අහිමි වුන සොයුරු ප්‍රේමයෙ මුදු සුවද දැනුනා . . .

ඔබේ කදුලක රැදුනු දුක දැක සිතට දුක පිරුනා
ඔබෙන් මා ලද සොයුරු ප්‍රේමයෙ මතක තව තිබුනා
මටත් රහසින් ඔහුගෙ නෙත් ලග සෙනෙහසක් පිපුනා
ඔබට කැප නැති මගේ සෙනෙහස ඔහුගෙ අත රැදුනා . . .

මග තොටේ නෙත ගැටුනු විටකදි සිනහවක් ගෙන වඩිනු මැනවී
සොයුරු ප්‍රේමයෙ අරුත පහදා අපට ආසිරි ගෙනෙනු මැනවී . . .
ඔබට හිමි නැති මගේ මතකය හද මතින් ඔබෙ මුදනු මැනවී
කදුලු මල් මකරන්ද කුමකද හෙට ලොවක් ගැන හිතනු මැනවී . . .

Thursday 4 February 2010

මගෙ තරහක් නෑ . . .


මල් හීන මවන් දෙනෙතග
මගෙ කඳුලු පිරුණු ලොව වෙත
වැඩිය දවස හිමි සඳ ඔබ
තව අමතක නෑ . . .

මගේ පුංචි පෙම් හිත ලඟ
සඳ හිරු තරු දිවුරා නුඹ
මට මාවත් නැති කළාට
මගෙ තරහක් නෑ . . .

Monday 1 February 2010

හීන ඉකිබින්දා ( දෙවන කොටස )

පළමු කොටසින්. . . .


අම්මා කෙනෙක්ගෙයි තාත්තා කෙනෙක්ගෙයි හිතට ගින්දරක් දීලා ජීවිතේ සතුට හොයන්න අපි දෙන්නාට බැරි බව දැන දැනත් මං සදුනිව මගේ කරගත්තේ අපේ ආදරේට මැරෙන්න දෙන්න බැරි හින්දමයි. මලිත්ගේ උදව්වෙන් පොඩි ගෙයක් හොයාගෙන මං සදුනිත් එක්ක ඒ ගෙදර පදිංචියට ගියා.

ජීවිතේ ලස්සනම කාලේ මේ විදියට වගකීම් ගොඩකින් පිරිල යද්දි, හිතට දරා ගන්න බැරි තරම් දුකක් නොදැනුනා නොවෙයි.නොකියා හිටියට සදුනිගෙ හිතෙත් ඒ දුක තිබුනා කියලා මං දන්නවා.

" ඔයා අම්මට කෝල් කලාද සදුනි "

" තාම නෑ. මං හෙට ලියුමක් දාන්නම්, අම්මලා අපි ඉන්න තැනක් දැනගන්න ඕනෙ නෑ දසුන්, ඒගොල්ලො ඒක දැනගත්තොත් අපිට නිදහසේ ඉන්න ලැබෙන එකක් නෑ . . . ඒත් මට අම්මා ගැන දුකයි.
තාත්තා කියන දේට විරුද්ධ වෙන්න බැරිකම හින්දා අම්මටත් මගේ කැමැත්තට ඉඩ දෙන්න විදියක් තිබුනෙ නෑ. "

" සදු . . . . " " ඔයා අඩනවද ? "

" මේ අහන්න . . . . . . , ප්‍රශ්න ඇතිවෙන බව දැන දැනත් මං ඔයාව මගේ ලගට ගත්තේ, මං නැති වුනොත් ඔයා දුක් විදියි කියලා බයට. "

" මං ලග ඉදිද්දි ඔයාට අඩන්න බෑ සදු . . . . . ."

" ටික කලයක් යද්දි තාත්තගෙ හිත වුනත් වෙනස් වෙයි . . . . . අපි තව දවසකින් ගිහින් අම්මව බලලා එමු. අම්මා ඔයාට සමාව නොදී ඉන්න එකක් නැහැ. දැන් අඩන්නෙ නැතුව ඉන්න. "

" මං කඩේට ගිහින් කන්න මොනවාහරි අරන් එන්නං "

" එපා දසුන්, මං උයන්නම් . . . . . ."

" අපි හෙට ඉදන් උයමු, අද රෑට කඩෙන් කමු " කිව්වා විතරයි සදුනි " එහෙනම් පොඩ්ඩක් ඉන්න " කියාගෙන කාමරේට ගියා. සදුනි ආයෙත් කාමරෙන් එලියට ආවෙ පොඩි බෑග් එකකුත් අරගෙන.

" ඔය මොකක්ද ? "

" මෙහෙන් පොඩ්ඩක් වාඩි වෙන්නකො කියන්න " මං සදුනි ලගට ගිහින් වාඩි වුනා.

" දසුන්, මේ අම්මා මට අරන් දුන්න මාලෙකුයි වලලු හතරකුයි, මං එදා ගෙදරින් එද්දි මේ ටික අරන් ආවා. ඔයා මේ ටික විකුණලා කීයක් හරි ගන්න, මට මේව තිබුණ කියලා වැඩක් නැහැනෙ "
" ඕනෙ වුනොත් පස්සෙ මාලයක් හදාගමු "

" එපා සදු . . . , මං ලග වියදමට සල්ලි තියෙනවා. පහුගිය දවස් ටිකේ ඒ ලෙවල් තිබුණ හින්දා, මං ටිකක් වැඩිපුර ක්ලාස් කලා. ඔයා පරිස්සමින් ඉන්න, මං ටක් ගලා කන්න මොනවහරි අරන් එන්නම් . . . "

සදුනිගෙ හිත හදන්න හිතාගෙන වියදමට සල්ලි තියෙනවා කිව්වට, මගේ ලග මහ ලොකු ගානක් තිබුණේ නෑ.ටියුෂන් කරලා හම්බවෙන ගාණෙන්, මං මගෙ වියදම පිරිමහගන්නෙත් හුගක් අමාරුවෙන්. කඩේට ගිහින් ආපහු ගෙදර එනකලුත් මං කල්පනා කලේ ඉක්මණට ජොබ් එකක් හොයාගන්න විදියක් ගැන.

මං ගෙදර යද්දි අපේ ගේ ඉස්සරහ තියන බංකුව උඩ ඉදගෙන සදුනි මං එනකල් බලන් ඉන්නවා.

" ඇයි සදුනි මෙතන ? මේ රෑ තනියම එලියෙ ඉන්න එපා, ඔයාට මේ පැත්ත පුරුදුත් නැහැනෙ "

"මං තනියම නෙමේ දසුන් හිටියෙ, එහා ගෙදර අක්කා ඇවිත් මෙච්චර වෙලා මාත් එක්ක කතා කර කර ඉදලා දැනුයි ගියෙ. එයා කිව්වා එයා වැඩ කරන තැන මටත් මොකක් හරි ජොබ් එකක් හොයලා දෙන්න බලන්නම් කියලා "

" මොකක් හරි ජොබ් එකක් . . . . ? "

" මං ඔයාව බැන්දෙ ඔයාගෙන් හම්බකරගෙන කන්න නෙමෙයි සදුනි. අනික ඔයා මෙඩිකල් ෆැකල්ටි ආවෙ මොකක් හරි ජොබ් එකක් කරන්නද ? ඔය විකාර නවත්තලා, මෙච්චර කල් ගියා වගේ හෙට උදේ ඉදන් ලෙක්චස් යන්න ලෑස්ති වෙන්න. මට පුලුවන් ඉතුරු අවුරුද්ද ඔයාට ඉගෙනගන්න වියදම් කරන්න "

" ඒක නම් කරන්න බැහැ දසුන්. ඔයා මටත් වඩා හොදට ඉගෙන ගන්න පුලුවන් කෙනෙක්. එහෙම එකේ ඔයාගෙ ඉගෙනීම කඩා කප්පල් කරලා දාලා මට ඉගෙන ගන්න බෑ.මං එහෙම කළොත් ඔයාගෙ අම්මයි තාත්තයි මට සාප කරයි දසුන්"

" ඔයා මගෙ අම්මයි තාත්තයි ගැන දන්නෙ නෑ සදු . . . නිවාඩු දවසක මං ඔයාව ගමේ එක්කගෙන යන්නං "

" ඔයා හෙට ලෙක්චස් යනවා නේද ? "

මං සදුනිට ලං වෙලා එහෙම අහද්දි ඒ ඇස් වල කදුලු පිරෙනවා මං දැක්කා.මුලින් අකමැති වුනත් මං හැමදේම ටික ටික තේරුම් කරලා දෙද්දි, සදුනි මගෙ ඉල්ලීමට එකග වුණා.ඇත්තටම මට ඕනෙ වුනේ, මං සදුනිව මගේ ලගට අරන් එයාගෙ අම්මගෙයි තත්තාගෙයි බලපොරොත්තු කඩලා දැම්මෙ නෑ කියලා කවදාහරි ඒගොල්ලන්ට පෙන්නන්න.

" එන්න, අපි ගෙට ගිහින් කාලා ඉමු, දැන් අටත් පහු වෙලානෙ.

මං ඉක්මණට වොෂ් එකක් දාගෙන එන්නම් සදු . . . "

හීතල වතුර බින්දු ඇගට වැටෙද්දි, මට කල්පනා කරන්න හුගක් දේවල් තිබුණා. මේ තරම් ඉක්මණට කසාද බදින්න හීනෙකින්වත් හිතාගෙන හිටපු කොල්ලෙක් නෙවෙයි මං. කැම්පස් එක ඇතුලෙ අපි දෙන්නම ගතකළේ, පුදුම තරම් සැහැල්ලු ජීවිතයක්. ඒත් ඉස්සර වගේ එම්.සී එකට හරි ලිබර්ටි එකට හරි ෂොපින් ගිහින් වැරදිලවත් අත් හරින්නෙ නැති විදියට අතේ එල්ලීගෙන, එක අයිස් ක්‍රීම් එක කකා, කරට අත දාගෙන දෙනෝදාහක් මැද්දෙ ඇවිදගෙන යන්න පුලුවන්ද . . . බැදපු ගෑනියෙකුටයි මිනිහෙකුටයි . . .

" දසුන් . . . දසුන් . . . මලිත් ඇවිත් . . . . "

සදුනි කෑ ගහද්දි මං ඉන්නෙ කොහෙද කියලයි මට මතක් වුනේ. මං අඩුම තරමෙ විනඩි හතලිස් පහක් වත් නාන්න ඇති.

" මලිත්ට වාඩිවෙන්න කියලා තේ එකක් හදන්න, මං ඉක්මණට එන්නම් සදු . . . " මං නලා එද්දි මලිත් එලියෙ.

"මලිත් . . මොකද බං එලියෙ කරන්නේ, වරෙන් ගෙට. මං සදුනිට කිව්වනෙ උඹට ගෙට කතාකරන්න කියලා . "

"සදුනි කත කළා බං . . . මං මේ නිකන් එලියට ආවා . . . " " හරි හරි වරෙන්කො ගෙට, තේ එකක් බීලා හෙමින් සැරේ කතා කරමු "

" තේ බිබී ඉන්න වෙලාවක් නෑ බං, මං ඉක්මණට යන්න ඕනෑ . . කොහෙද උඹලා දෙන්නගෙන් එකෙක්ගෙවත් ෆෝන් වැඩ කරන්නෑ . මං ආවේ හදිස්සි පණිවිඩයක් කියලා යන්න "

" හදිස්සි පණිවිඩයක් . . . . "


අපි ආයෙත් හමුවෙමු . . . . .

Tuesday 19 January 2010

මම බලන් ඉන්නවා . . .


මේ මොහොතේ මුලු ලෝකයම නිදි,
මම ඉන්නෙ නුඹ ගැන සිත සිතා . . .
ඈත දිලෙන තරුවක
කොතනක හෝ මට නුඹව පෙනෙනවා . . .
මමත් එතන ඉන්නව කියල හිතෙනවා . . .
මම අවදිව ඉන්න මේ රෑ,
නුඹ පවා දැන් නිදි ඇති,
මගෙ සිහින නුඹ නොදන්නවා ඇති,
කවදා හරි නුඹ මගේ දෑස දිහා බැලුවොත්
මගෙ සිහින කොයි තරම් සාධාරණ දැයි නුඹට දැනෙයි . . . . .
මට ඕනෙ නුඹට සමීප වීමටයි
සැබෑ කළ යුතු සිහිනය එයයි
තව දුරටත් එය සිහිනයක් නොවේ නම්
මගේ අහිංසක සිත කොයි තරම් සතුටු වේද . . .
මම නුඹ වෙනුවෙන් මග බලා සිටිය දවස් වලට වුනත්
ඔයාට තේරෙනවා ඇති මම නුඹට කොයි තරම් ආදරේද කියා . . .
ඇත්තටම මගේ හිත නුඹට ආදරේ කරනවා
මේක මගේ මුල්ම ආදරය නෙමෙයි
ඒත් . . . . . .
මම මේ ආදරයෙන් යලි උපන්නා
මම නුඹට ආදරේ කරන බව,
නුඹ දන්නව වුනත්,
නැති වුනත්,
මම නුඹ ගැන සිහින දකිනවා
මම මගෙ පළමු ආදරයට මොනවා උනත්,
අපේ ආදරයට එහෙම නොවෙයි කියලා
මම විශ්වාස කරනවා . . .
මම නුඹ ගැන දකින සිහිනය සැබෑ කර ගන්න ඉඩ දෙන්න . . . .

හීන ඉකිබින්දා (පළමුවන කොටස)


දවසට පැය පනහක් වත් තිබුණොත් හොදයි කියලා මට හිතුනා . . . ඉස්කෝලෙන් අවුට් වෙලා කැම්පස් එකේ අවුරුදු දෙකක් ගත කෙරුව කාලේ හීනයක් වගේ . . . ඇත්තටම හීනයක්.

මං කැම්පස් එන්න හීන දැකපු කොල්ලෙක්, ඒ හීන එකින් එක හැබෑ වෙනකොට, මගෙ වගේම මගෙ දුප්පත් අම්මගෙයි තාත්තගෙයි ඇස් වලත් අහිංසක සතුටක් මම දක්කා. ඒ සතුටු කදුලු මට ජීවිතේ ඉස්සරහට යන්න හයියක් වුනා.

"දසුන් . . . . . දොර ඇරපන් . . . .උඹ මේ මහ දවාලේ දොර වලුත් වහගෙන අහවල් මගුලක් කරනවද .?අන්න උඹට සදුනි එන්න කිව්වා " මලිත් කෑ ගහගෙනම ඇතුලට ආවා.
මලිත් කියන්නේ කැම්පස් එකට ආව දවසෙ ඉදන් නොකා නොබී හරි මං ලග හිටිය මගෙ බොක්කක්. මං ඇඩුවත්, හිනාවුනත් . . . හැමදාම මලිත් මං ලග හිටියා.

"සදුනි මට හදිස්සියේ එන්න කිව්වෙ ඇයි දන්නෑ මචන් . . ." "ඒක ඉතින් මට කියන්න පුලුවන් නම් ඒකි උඹට එන්න කියයිද බං . . . . එකී එහෙනම් මට කියනවනෙ . . " මලිත් ආපහු කෑ ගහන්න පටන් ගත්තා.

මං නැහුත ගානට බෝඩිමෙන් එලියට ආවේ සදුනි හම්බවෙන්න යන්න . . . කැම්පස් ජීවිතේ වගේම සදුනිත් මට හීනයක්. අපි දෙන්න අහසට පොළව වගේ . . . ගමේ හැදිලා, ගමේ ඉස්කෝලෙක ඉගෙන ගත්ත, මං වගේ දුප්පත් කොල්ලෙකුට සදුනිව දෙන්න එයගේ අම්මලා කැමති වෙන්නැති බව මං නොදැන හිටිය නෙවෙයි.මං යද්දි සදුනි ඇවිත් හිටියා.

"ඔයා ඇවිත් හුගක් වෙලාද සදුනි. ?"
"ටිකක් වෙලා . . . " එයා කතා කරපු විදියට මාව ඩිම් වෙලා ගියා. සදුනි කියන්නේ වචනෙන් දෙකෙන් උත්තර දෙන කෙල්ලෙක් නෙවෙයි . . . .

"ඔයා මොකක් හරි ප්‍රශ්නයක් හිතේ තියා ගෙනද කතා කරන්නේ. මොකද වුනේ . ?"

"තාත්තාට අපි දෙන්නා ගැන ආරංචි වෙලා දසුන් . . . මගෙන් ඇහුවා ඇත්තද කියලා. මං ඔව් කිව්වා. ඒගොල්ලො කොහොමත් මාව කැම්පස් එව්වේ ඩොක්ටර් කෙනෙක් වෙන්න මට තිබුණු ආසවට, එහෙම නැතුව මාව ජොබ් එකකට යවන්න හිතාගෙන නෙවෙයි . . . ගෙදර නැවතුනොත් මට ඔයාව නැති වෙයි දසුන් . . . අපි බදිමු . . . "

"බදිමු . . ." මාව හිරි වැටුණා. පපුව උඩ කිලෝ දහයක් විතර තියලා වගේ මට දැනුණා. සදුනි කියන්නේ ආවට ගියාට වචන පාවිච්චි කරන කෙල්ලෙක් නෙවෙයි . . .
"හදිස්සියේ . . . . ?" මං එහෙම කිව්වා නෙමේ මට එහෙම කියවුණා.
" ඔයාට මාව ඕනෙනම් මේ දේට කැමති වෙන්නම වෙනවා . . . දසුන්. අපිට වෙන කරන්න දෙයක් නෑ. මං ඔයාට ලං වුනේ ඔයාව අත අරින්න හිතාගෙන නෙවෙයි. මං හිතුවා මොන දේ වුනත් ඔයවාත් මං ලග ඉදියි කියලා . . ." සදුනි කියාගෙන කියාගෙන ගියා....

මට ඒ හිතට දුකක් දෙන්න කොහොමටවත්ම පුලුවන් කමක් තිබුනෙ නෑ. හිතේ දෙගිඩියවෙන් වුනත් මං එයගෙ තීරණයට දෙපාරක් නොහිතම කැමති වුනා. අම්මයි, තාත්තයි මට උගන්නන්න දහ දුක් වින්ද හැටි චිත්‍රපටියක් වගේ මැවිලා පෙනුනත් . . . මට ආපහු හැරෙන්න පුලුවන් කමක් තිබුනේ නෑ. සදුනිට තිබුණ ඕනෙකම නිසාම අපේ තනි තීරණයට නීතියෙන් අපි දෙන්නා අපේ වුනත් . . . ප්‍රශ්නෙ සියයට අසූවක් විතර තමත් ඉතුරුයි කියල මට හිතුනා.

"ටියුෂන් කරලා හොයගත්ත සල්ලි ටිකක් මං ලග තියනවා . . . මං ඉක්මණට ගෙයක් හොයා ගන්නම් සදුනි, එතකල් ඔය බොඩිමේ ඉන්න . . . පුලුවන්නම් අම්මට ලියුමක් දාන්න, හැමදෙම කියලා . ."

ඉන්න තැනක් හොයගත්තත් සදුනිට ගෙදර හිබුණු සැප සම්පත් දෙන්න මට කොහෙත්ම පුලුවන් කමක් තිබුනෙ නෑ.
- - - මතු සම්බන්දයි - - -

Thursday 14 January 2010

මම යලිත් . . .

මල්වරව සඳ හැංගෙනා රැයක
මම ඔබව දකිමි ගගනක කොනක
මේ තරම් තාම හිත රිදෙනකොට
අපි අපෙන් දුරස් වුන අරුම කිම . . . ?
ඇස් පියන් වසා අතහැර සුසුම
ගින්දරින් නිවෙන්නට තනමි මම
මගේ සිත බිද දැමූ ඔය හදට
මම යලිත් සමා දුන් අරුම කිම . . . ?
ඔබ ගියා ආත්මය මරාගෙන
එහි යලිත් පෙම් කුසුම් නොපිපේය
එහෙත් මට එක වරක් ඔය ලයට
හිස තියාගන්න හිතෙනව තාම . . .

දැනේ මට කළ වරද . . .

සංසාර සාගරේ දෝරෙ ගැලු පෙම් හැගුම්
තුන් සිතට හඩවලා කොහේදෝ දුර ගිහින්
යනෙන මග අමතකව ලෝකයෙන් සැගවෙමින්
දිව ආමි තුරුල්ලට අම්මෙ මට සමාදෙන් . . . . .

රුවන් මලිග මගේ සිත් කොනේ ඉදි කළා
නිකැලැල්ව තිබු මගේ තුන් හිතම පොඩි කළා . .
මහැර වෙනතක් බලා ඔහු ගොඩක් පවු කළා
නුඹව රැවටූ පවට දෙවියො දඩුවම් කළා . . . .

ජීවිතය මා ලගින් දුර ඈත ඇදෙද්දී
සියක් වර මිය ඇදෙමි ඔහු මසිත පෙලද්දි
නුඹෙ සුසුම් රැල් ඇවිත් දුක් ගීත ගයද්දී
දැනේ මට කළ වරද නුඹ මහිස සිබිද්දි . . . . . .

Sunday 10 January 2010

අපි හිත හදා ගමු . . .


තුරුණු හිත හැමදාම
ආලයට ලොබ කරයි
ගෙවුනු ඒ අතීතය
නුඹට මතකද සැකයි
ලැබුණු හැම ඇසිල්ලෙම
පෙම් කලේ නුබටමයි
මගෙන් ලැබු ආලෝකේ
දැන් නුඹට ප්‍රිය නොවෙයි . . . .

මැසි කැලද නොම දනී
බදුරා මල රගේ
මමද නොම දැන ගත්තේ
වෙනස් වන සිත නුඹේ
බදුරා මලද නුඹ
තවත් මට බිය සිතේ
මැරි මැරී නැවත මා
අතීතය සිහි කරයි . . . . . . . . . . .

Thursday 7 January 2010

ඇදුරුන් නුබයි . . .


කෝල හිතට සෙනෙහස ගැන අකුරු කළ
ඇදුරැත් නුබයි මගෙ පෙම් සිත පහන් කළ
වියෝ දුකට නාඩා ඉන්නේ කොහොම
නොකියම
ගියේ තුටු පඩුරක් මදි වුනිද ? ......

සහස් ගවු උසට පැතුමන් පතාගෙන
ශිල්ප වැඩුවෙ මං නුබ ලග අවනතව
නොතේරුමට වුන වරදට විරසකව
පාඩම නිමා විය මුල මිස අග නැතිව .........

කටු සටහනින් පිවිතුරු සිත මැලවෙද්දී
කෙටි සටහනක් වී නුබ ගිය මුත් වෙන්වී
ගුරු හරුකම් නැතිව දිවි සිතියම පැටලී
සයුරක් නොදැක ගඟ හෙමිහිට ගලා බසී .......

මගේ සද නුබ . . .

සදු වලාවක ඉහ තියාගෙන
හෙටත් පායන
මගේ සද නුබ......................

Wednesday 6 January 2010

කවිය . . . .


කුලුදුලේම මම ලියාපු
එක කවියක් කියෙව්වහම
මට මතකයි අම්මා මට
දෙහි කැපුවා හැට පැයක්ම

කවි කම් නම් කමක් නැහැලු
ආදරයක් ගැන එපාලු
සෙනෙහස හැර වෙනත් දෙයක්
ලියන්න මට හිතෙන් නැහැලු

ලියවෙන කළ නැවුම් දෙපද
තව නොලියන්නේ කෙලෙසද
ලොව වෙන දේ දෙස බලාන
ලිව නොහැකිද ප්‍රේමය ගැන

Tuesday 5 January 2010

සිත පුරා නුඹ ඉද්දි . . .




ගොම්මන් ඉකි ගසන
මල හිරුගේ සෙවනැල්ල
කඩුල්ලෙන් පැන ඇවිත්
පිල් කඩට එබෙනෙ විට
හෙම්බත්ව සොවින් සිටි
සිතක් පන අදින විට
අදුර බිද නුබ ඇවිත්
මගේ හිත් දොරකඩට. ..

විදින්නට ජීවිතය
සෙවූ මුත් නොලැබෙද්දි
විදෙව්වෙමි දිවි පුරා
සසර පව් පල දෙද්දි
හිරුත් නුබ, සදුත් නුබ,
තරුත් මගෙ නුබ වෙද්දි
අදුරකට කොහෙද ඉඩ
සිත පුරා නුබ ඉද්දි. . ..